දිගාමඩුලු පුරවරයෙන් ලොවක් බැබළ වූ සිසුන් දායාද කළ අම්පාර නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක් වන අම් /ගාමිණි මහා විද්‍යාලය ක්‍රිස්තු වර්ෂ 1973 වර්ෂයේ ජනවාරි මස 10 වන දින පිහිටු වීමට මූලික හේතුව වූයේ එවක අම්පාර නගරයේ පැවති අනෙක් පාසල්වලට ඇතුලත් වීමට තිබූ අධික ඉල්ලුමට විකල්ප විසදුමක් ලබාදීමටත්, ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතිය නිසා අම්පාරට සංක්‍රමණය වී නගරයේ මාවත් ආශ්‍රිත පදිංචි පවුල්වල දරුවන්ට අධ්‍යාපනය ලබා දීමටත් ය. මෙම ගැටළුව පිළිබඳව ගාමිණි විද්‍යාලයේ නිර්මාතෘ වන ඩබ්ලිව්. ඒ. ජයසේන මහතා විසින් සියනෑ සමූහ ව්‍යාපාරයේ සේනානායක මහතා, I.G. පියදාස මහතා, සෝමපාල ඉලංගම්ගේ මහතා ආදී හිතවතුන් සමග සිදුකරන ලද සාකච්ඡාවලින් අනතුරුව වත්මන් විද්‍යාලීය පරිශ්‍රය පාසලකට සුදුසු ස්ථානය ලෙස හඳුනාගෙන ඇත.
ඒ අනුව ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ තනිකඩ නිවාස පැවති මෙම ඉඩම ලබා ගැනීම පිළිබඳව ජයසේන මහතා විසින් එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම වැඩබලන ඇමතිවරයෙකු වූ සෙනරත් සෝමරත්න මහතාගේ අනුමැතිය ලබාගෙන ඇත. නමුත් ඒ වන විටත් මෙම තනිකඩ නිවාසවල පිරිමි පුද්ගලයන් කිහිපදෙනෙකු පදිංචිව සිටීම නිසා කිසිදු පාර්ශවයකට ගැටලුවක් නොවන පරිදි ඔවුන් මෙම නිවාසවලින් ඉවත් කිරීමට උපක්‍රමශීලීව කටයුතු කළ ජයසේන මහතා පාසලෙහි සේවයට තෝරාගෙන සිටි ගුරුවරියන් දෙදෙනකු වූ කාරියවසම් ගුරුතුමිය හා ගුණවර්ධන ගුරුතුමිය මෙම නිවාසයේ කාමරයක පදිංචි කරවා ඇත. එදා සමාජය තුළ කාන්තාවකට තිබූ ගෞරවණීයත්වයත් මෙම නිවෙස් වල ජීවත් වූ පුද්ගලයන්ගේ මහත්මාගතියත් පෙන්වා දෙමින් එම පුද්ගලයන් ගැටලුකාරී තත්ත්වයක් ඇති නොකර මෙම ස්ථානයෙන් ඉවත් වීමෙන් බාධාවකින් තොරව පාසල ආරම්භ කිරීමට W.A. ජයසේන මහතාට හැකියාව ලැබුණි.
1973 වර්ෂයේ ජනවාරි 10 වන දින රාත්‍රියේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා ඊට පසු ජනවාරි 11 වන දින එවකට නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිව සිටි B. Y. තුඩාවේ මැතිතුමා විසින් පස්වරු 3:51 ට වූ සුභ මොහොතින් අම්/ ගාමිණී මහා විද්‍යාලය විවෘත කරන ලදි. මෙම අවස්ථාවට වාරි මාර්ග, මහා මාර්ග හා විදුලිබල වැඩබලන ඇමති සෝමරත්න සෙනරත් මැතිතුමා, නැගෙනහිර ප්‍රදේශ භාර අධ්‍යාපන අධ්‍යක්ෂතුමා, නැගෙනහිර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරි, නැගෙනහිර ප්‍රදේශ ශාරීරික අධ්‍යාපන නිලධාරී, අම්පාර ප්‍රධාන අධ්‍යාපන නිලධාරී හා අම්පාර මාණ්ඩලික නිලධාරී යන නිලධාරීහුද සහභාගි වූහ.
1973 ජනවාරි 11 වන දින W.A. ජයසේන විදුහල්පතිතුමා විසින් පාසල ආරම්භ කළේ මෙම ස්ථානයේ ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතියේ තනිකඩ නිවාස ලෙස භාවිතයට ගත් එල් හැඩයෙන් යුක්ත වූ ගොඩනැගිලි ද්විත්වයක් මුල්කොටගෙනයි. ජයසේන විදුහල්පතිතුමාගේ පරිපාලන කාලය තුළ මසක පමණ පැවති පාසල් සුපවයිසරගේ අධීක්ෂණයෙන් අනතුරුව පාසල් පරිපාලනය හා පාසලේ දියුණුව ඇගයීමට ලක්විය. ඉන් ජයසේන මහතාට ස්වීඩන් සංචාරයක් හෝ පාසලට ගොඩනැගිල්ලක් යන අවස්ථා දෙකක් තෝරා ගැනීමට ලැබුණු අතර ජයසේන මහතා විසින් තෝරාගනු ලැබුවේ පාසලට ගොඩනැගිල්ලක් ලබා ගැනීමයි. එම ගොඩනැගිල්ල එකල බාලාංශ පන්ති සඳහා භාවිතා කළ අතර වර්තමානයේ එය නැටුම් කාමරය හා ප්‍රථමාධාර ඒකකය ලෙස භාවිතා වේ.
2023 වර්ශය වන විට පාසලේ ගොඩනැගිලි අතර තෙමහල් ගොඩනැගිල්ලක්, දෙමහල් ගොඩනැගිලි දෙකක් හා තනිමහලේ ගොඩනැගිලි පහක් වේ . පාසල තුළ සාමාන්‍ය පෙළ විද්‍යාගාරයක්, පුස්තකාලයක් සහ පරිගණක කාමරයක්ම ඉදිකර ඇති අතර චිත්‍ර, නැටුම්, සංගීතය යන විෂය සඳහා ද ගෘහ විද්‍යාගාරයක් ලෙස ද ප්‍රයෝජනයට ගන්නේ තාවකාලිකව වෙන්කර ඇති ස්ථාන වන අතර අ.පො.ස. උසස් පෙළ පෙළ කලා හා වාණිජ අංශයන්ගේ අධ්‍යයන කටයුතු සිදු කර ගෙන යන්නේද තාවකාලිකව ඉදිකරන ලද ස්ථානයන් තුළය.
සුළු සිසු පිරිසකගෙන් සහ ගුරුභවතුන් කිහිප දෙනෙකුගෙන් ආරම්භ කරන ලද පාසලෙහි අද වන විට පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර 6 සිට 11 ශ්‍රේණිය දක්වා සමාන්තර පන්ති 4 බැගින් ඇත. 1981 වර්ශයේ දී ආරම්භ කරන ලද අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ අංශයේ වර්තමානය වන විට කලා හා වාණිජ විෂය ධාරාවන්ගෙන් අධ්‍යයන කටයුතු සිදු කරගෙන යයි.
අම්/ ගාමිණි මහා විද්‍යාලයේ නිර්මාතෘවරයාණන් වූ W.A. ජයසේන මහතාගේ අප්‍රතිහත ධෛර්යයෙන් හා කැපවීමෙන් ආරම්භ කළ පාසල අද වන විට ජයග්‍රහණ රැසක් අත්පත් කර ගනිමින් ප්‍රදේශයේ ජනප්‍රිය පාසල් අතරින් එකක් ලෙස ඉදිරියෙන් සිටී.
|
ආරම්භ කළ වර්ෂය |
1973 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
150 |
|
මුල් ගුරුතුමාගේ නම |
W.A. ජයසේන මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩේවිඩ් ගුණවර්ධන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
02 |
|
පාසලේ නම |
අම්/ගාමිණි මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
W.A. ජයසේන මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1973 ජනවාරි 11 |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
D. S. කස්තුරිආරච්චි |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |